ලාංකේය පුරාවිද්‍යාවේ ඉදිරි සියවස



ලාංකේය පුරාවිද්‍යාවේ ඉදිරි සියවස හෙවත් පුරාවිද්‍යා විශේෂවේදි උපාධිධාරින්ගේ අනාගතය
ශ‍්‍රී ලංකාව වනාහි ඉන්දියානු සාගර කලාපයේ පිහිටි වර්ග කිලෝමීටර් 65,610ක වර්ග ප‍්‍රමාණයක් සහිත දිවයිනකි. එ සේ වුවත් ජගත් මානවයාගේ අතීත කතාව හෙළි දක්වන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාදක පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී ශ‍්‍රී ලංකාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලෝකයේ වෙනත් විශාල රාජ්‍යයන් සමඟ සැසදීමේ දී ලංකා භූමිය සතු සංස්කෘතික සම්පත් හි වෛවාරණ බව ඉතා ඉහළ මට්ටමක පවතී.
ලක් දිවයිනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාදක පිළිබඳ ව දෙස අවධානය යොමුකරන විට එම සාදක අදින් අවුරුදු 500,000ක පමණ කාලයක් දක්වා ඈතකට ගමන්කරන බව පුරාවිද්‍යා අධ්‍යයන අනුව පැහැදිළි වී ඇත. නිශ්චිත, මානව සංස්කෘතියක් පිළිබද සාධක අදින් අවුරුදු 125,000ක පමණ කාලයක අතීතයකට ගමන් ගන්නා බව දක්‍ෂිණ ලංකාවේ බූන්දල හා පතිරාජවෙල වැනි ස්ථාන වල සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ වල දී අනාවරණය වී ඇත. මෑත කාලීන ව හෙළි වී ඇති සාධක අනුව අදින් වසර වසර ලක්‍ෂ 6-15 අතර කාලයේ මිහිපිට ජීවත් වූ මානවයින් පිළිබඳ සාධක ලංකාවේ උතුරුදිග කලාපයෙන් හමුවෙමින් පවතින බව පෙනී ගොස් ඇත. හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙවත් නූතන මානවයා පිළිබඳ අතිශය විශ්වාසනීය සාධක රැසක් ලංකාවෙන් අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳ සාධක අදින් වසර 40,000 කාලයේ සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 දක්වා කාලය තුළින් හමු වී ඇත. මෑත කාලීන ලෝකයේ මානව විද්‍යාඥයින් අතර බෙහෙවින් කතාබහට ලක් වී ඇති නූතන මානවයා අප‍්‍රිකාවෙන් නික්ම යාමේ න්‍යායට අභියෝගයක් එල්ල කරමින් මානව පරිණාමය පිළිබඳ වෙනස් ම ආකෘතියක් අත්හදා බැලීමේ න්‍යායාත්මක පැතිකඩක් ද ලංකාවේ සාධක තුළින් පෙනී යයි. ලොකයේ පැරණි විශිෂ්ට ම ගල්ආයුධ තාක්‍ෂණය පිළිබඳ සාධක ද ලංකාවෙන් අනාවරණය වී ඇති අතර ලෝව පැරණි ම කෘෂිකාර්මික ප‍්‍රජාවක් ලංකාවේ වාසය කළ බවට ද සාධක දැන් දැන් තහවුරු වෙමින් පවති. එපමණක් නොව ලෝහ භාවිතය පිළිබඳ බිදහෙළිය නොහැකි අන්දමේ පැරණි ම සාධක ද මෑත කාලීන පුරාවිද්‍යා පර්යේෂණ මගින් හමු වෙමින් පවතී. ලංකා දූපත ලෝකයේ කුඩා දිනයිනක් ලෙස සැලකිල්ලට ලක් වී පැවතිය ද මේ සාධක අනුව ලෝක මානවයා පිළිබඳ කතාවේ තීරණාත්මක හා පෝෂණීය සාධක රැසකින් සමන්විත රටක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා දිය හැකි ය.
ඉහත දැක් වූ ආකාරයට ඉතා දීර්ඝ ප‍්‍රාග් ඉතිහාසයක ට හිමිකම් කියල ලංකාවේ ඓතිහාසික යුගය නැතිනම් විධිමත් අක්‍ෂර පද්ධතියක් භාවිත කිරීමේ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව 5/6 සියවස් දක්වා ගමන් කරන බව අනුරාධපුර ඇතුළු නගරයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ අනුව තහවුරු වී ඇත. මෙයින් පසු ව, ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ ජනයා විශිෂ්ට ශිෂ්ටාචාරයක් නිර්මාණය කරගත් ආකාරය වර්ග කිලෝමීටර් 65,610ක ප‍්‍රදේශය පුරා අධික බහුලත්වයකින් යුතු ව විසිරී ඇති පුරාතන වාස්තුවිද්‍යා නිර්මාණ අවශේෂ, උද්‍යාන හා පැරණි නගර, අතිවිශාල හා විශිෂ්ට තාක්‍ෂණික උරුමයක් වූ වැව් හා ඇළමාර්ග, විශිෂ්ට සිතුවම් මූර්ති ඇතුළු විවිධ කලාකෘති, විවිධ කර්මාන්ත පිළිබඳ ද්‍රව්‍යාත්මක හා ලේඛනගත සාධක මෙන් ම දිවයින පුරා දහස් ගණනින් විසිරී ඇති අභිලේඛන ඇතුළු විවිධාකාර පුරාකෘති දසදහස් ගණනාවක් මගින් පැහැදිළි කෙරේ. පුරාතන කාලයේ දකුණු අුාසියාතික කලාපයේ පැවති විශාල ම හා වර්ධනීය ම වෙළෙඳ නගර 5න් එකක් ලෙස අනුරාධපුරය විදේශීය විශේෂඥ පර්යේෂකයින් විසින් හඳුන්වා දී තිබීමෙන් පැහැදිළි වෙයි.
ඉහත සංක්‍ෂේපයෙන් සාකච්ඡා කරන ලද සාධක හා සමකාලීන ව ලෝකයේ වර්ධනය වූ තත්ත්වයන් පදනම් කොටගෙන යටත්විජිත පාලන සමයේ එනම් 1890 දී ඉංග‍්‍රිසි පාලන අධිකාරිය විසින් ලංකාව් අතීත සංස්කෘතිය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව පිළිගෙන ඒ පිළිබඳ ව නිලධාරීන් ධෛර්යමත් කර ඇත. ක‍්‍රිස්තු වර්ෂ 1871 දී එවකට ආණ්ඩුකා ධූරය දැරූ ශ‍්‍රිමත් හර්කියුලිස් රොබින්සන් ගේ නිලකායෙන් අවසාන භාගයේ දී අනුරාධපුර, පොළොන්නරුව හා සීගිරිය යන පැරණි නගරයන් හී පැවති පැරණි ගොඩනැගිලි වල ලෝටන් නැමැති සුදුජාතික මහතා විසින් ඡුායාරූප කරණ ලද අතර කූපර් නමැත්තෙකු විසින් අනුරාධපුරයේ පැවති විශාල දාගැබ් වල උස නිර්ණය කිරීම සිදුකර ඇත. ස්මිදර් විසින් අනුරාධපුර පැවති නටබුන් ස්මාරක වල පරිමාණ සහිත සැලසුම් හා සිතුව්ම නිර්මාණ මගින් වාර්තා කිරීමට උත්සාහ කර ඇත. ගෝල්ඩි ස්මිත්, එඞ්වඞ් මුලර් හා මහමුදලි ඩි සොයිසා විසින් සෙල්ලිපි හා ඇතුළු පැරණි ලේඛන පිළිබඳ ව අධ්‍යයන සිදුකරනු ලැබ ඇත. ලංකාවේ පවත්නා පුරාකෘති වල අධික ඝණත්වය හේතුවෙන් මෙම සේවාව වඩා විධිමත් හා පරිපූර්ණ අන්දමින් සිදුකිරීම සඳහා පළපුරුදු නිලධාරීන් යොදවා රාජ්‍ය ප‍්‍රතිපාදන සහිත ව යටත්විජිත ආණ්ඩුව විසින් පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeology Survey of Ceylon) ක‍්‍රිස්තු වර්ෂ 1890 දි ස්ථාපනය කරන ලදී. මෙම ආයනයේ නියමුවා නැතිනම් පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් කෑගල්ල පළාතේ ඓතිහාසික සාධක පිළිබඳ පැසසුම් සහගත කෘතියක් සම්පාදනය කොට ඒ සඳහා තමන්ගේ හැකියාව හා කැපවීම පෙන්නුම් කොට සිටි හැරී චාල්ස් පර්වියස් බෙල් 1890 පෙබරවාරි මාසයේ දි පත් කරන ලදී.
එච්. සී. පී. බෙල්ගේ සේවා කාලයෙන් පසු ව මේ දක්වා ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සමීක්‍ෂණයේ (1990න් පසු ව ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේනතුව යනුවෙන් මෙම ආයතය ප‍්‍රතිව්‍යුහගත වූ අතර එහි පාලනය අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙකු යටතට පත් විය.) නියමුවන් වශයෙන් ඒ පිළිබඳ සුදුසුකම් සැපීරූ කෘතහස්ත නිලධාරීන් පත් කරන ලදී. එදා සිට අද දක්වා ලංකාවේ සංස්කෘතිය හා අතීතය පිළිබඳ සාධක සපයන මෙම විශ්ෂ්ට ජාතික ශාස්ත‍්‍රිය ආයතනයේ මුල්පුටුව පහත දැක්වෙන ශාස්ත‍්‍රඥයින් හා නිලධාරීන් විසින් හොබවා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන විට වසර 120කට ජීවිත කාලයක් ගෙවා දමා අවසාන ය.
  • 1890 – 1891 – එච්. සී. පී. බෙල්
  • 1892 – ලිවර්ස් (වැඩබලන)
  • 1893 – 1912 – එච්. සී. පී. බෙල්
  • 1912 – 1913 – ආර්. අයර්ටන් (වැඩබලන)
  • 1913 – 1914 – බී. කොන්ස්ටන්ටයින් (වැඩබලන)
  • 1914 – 1918 – එච්. ආර්. ෆ‍්‍රීමන් (වැඩබලන)
  • 1918 – 1920 – එෆ්. ජි. ටිරල් (වැඩබලන)
  • 1920 – 1921 – ඒ. ඩබ්ලිවු. සේමුවර් (වැඩබලන)
  • 1921 – 1922 – ජී. එෆ්. ආර්. බ‍්‍රවුනිංග් (වැඩබලන)
  • 1922 – 1924 – එස්. එම්. හෝකාර්ටි/එෆ්. බාර්ට්ලෙට් (වැඩබලන)
  • 1924 – 1925 – එම්. වෙඩර්බන් (වැඩබලන)/ඊ. ආර්. සඩිබෙරි
  • 1925 – 1928 – එස්. එම්. හෝකාර්ටි
  • 1928 – 1929 – ඊ. ටි. ඩයිසන් (වැඩබලන)/සී. එෆ්. වින්සර් (වැඩබලන)
  • 1929 – 1930 – ජේ. පියර්සන් (වැඩබලන)
  • 1930 – 1931 – සී. එෆ්. වින්සර් (වැඩබලන)
  • 1931 – 1934 – ආචාර්ය සෙනරත් පරණවිතාන (වැඩබලන)
  • 1934 – 1939 – එස්. එච්. ලෝංහර්ස්ටස් (වැඩබලන)
  • 1940 – 1956 – ආචාර්ය සෙනරත් පරණවිතාන
  • 1956 – 1967 – ආචාර්ය චාල්ස් එඞ්වඞ් ගොඩකුඹුර
  • 1967-1979 – ආචාර්ය රාජා ද සිල්වා
  • 1979 – 1983 – ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න
  • 1983 – 1990 – ආචාර්ය රෝලන්ඩි සිල්වා
  • 1990 – 1992 – එම්. එච්. සිරිසෝම
  • 1992 – 2001 – ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල
  • 2001 – 2004 – ආචාර්ය ඩබ්ලියු. එච්. විජයපාල
  • 2004 සිට මේ දක්වා ආචාර්ය සෙනරත් දිසානායක
ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ රාජ්‍ය ආයතන පද්ධතිය මේ ආකාරයෙන් වර්ධය වන විට විෂයක් ලෙෂ පුරාවිද්‍යාව ශ‍්‍රි ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වන විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයනයට බඳුන් වන විෂයක් ලෙස වසර 70කට වැඩි අතීතයක සිට ක‍්‍රියාත්මක වී ඇත. එයින් අවසන් වසර 50කට වැඩි කාලයක් තුළ පුරාවිද්‍යා විෂය ඒ පිළිබඳ ප‍්‍රාමාණිකයින් වන පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරීන් බිහිකරණ විෂයක් ලෙස වර්ධනය වී ඇත. පළමු ව ක‍්‍රිස්තු වර්ෂ 1961 දි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමාන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) පුරාවිද්‍යා විශේෂවේදි උපාධිය පිරිනැමීම ආරම්භ කර ඇති අතර මේ වන විය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ විශ්වවිද්‍යාල 6කින් (ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය හා ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය) පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරීන් වාර්ෂික ව ජාතියට තිළින කරනු ලැබේ. මෙම උසස් අධ්‍යාපන 6න් පුරාවිද්‍යාව පිළිබඳ සිව්වසරක කාලයක් පුරා දිවයන න්‍යායාත්මක හා ප‍්‍රායෝගික පුහුණුවකින් යුතු තරුණ පුරාවිද්‍යා විශේෂවේදි උපාධිධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වාර්ෂික ව ලංකාවේ අතිමහත් වූ සංස්කෘතික දායාදයන් පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ හා රැකගැනීමේ අභිලාෂයෙන් යුතු ව ජාතික ශ‍්‍රමබලකායට එක් වේ. මීට අමතර ව තවත් විශාල පිරිසක් සාමාන්‍යවේදී උපාධි පාඨමාලා යටතේ පුරාවිද්‍යා විෂයේ පාර්ශවීය අවබෝධයක් සහිත ව පිට වේ. මෙම සියලූ පිරිසගේ වෘත්තීය හැකියාවන් හා සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා පුරාවිද්‍යාව වෙනුවෙන් ම වෙන් වූ පුරාවිදයා පශ්චාත් උපාධි ආයතනයක් (Postgraduate Institute of Archaeology – PGIAR) විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය සහිත ව දැනට වසර විසිපහක කාලයක සිට ස්ථාපිත කර ඇත.
විශ්වවිද්‍යාල මගින් සිව්වසරක කාලයක් තුළ න්‍යායාත්මක හා ප‍්‍රායෝගික පුරාවිද්‍යා ක‍්‍රියාකාරකම් සඳහා පුහුණුකර ඇති මෙම තරුණ විශේෂඥයින්ගේ දායකත්වය ලබාගැනීමට ලංකාවේ ක‍්‍රියාත්මක වන මුඛ්‍යතම ආයතනය වන්නේ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු හා අධ්‍යක්‍ෂවරු 7ක් යටතේ ක‍්‍රියාත්මක ලංකාවේ පුරාවිද්‍යාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛතම ආයතනය වන මෙම ආයතනයේ සේවයේ යෙදෙන්නේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවකි. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මගින් නිර්මාණය වී ජාතික ශ‍්‍රම බලකායට එක්වන පුරාවිදයා විශේෂවේදී උපාධිධාරීන් මෙම ජාතික ආයතනය වෙත ග‍්‍රහනය කරගැනිමේ විධිමත් හෝ නිශ්චිත වැඩපිළිවෙළක් මේ වන තෙක් සැකසී නැත. ඒ අතරතුර මෙම ආයතනය හා දැනටමත් සම්බන්ධ වී සිටින උපාධිධාරීන් ගේ වෘත්තීය ජීවිතය සූක්‍ෂම හා භයානක අන්දමින් සීමාවට ලක්කර නවතා දමා ඇත. මෙහි ඛේදවාචකය මැනවින් නිරූපණය වන්නේ දැනට වසර ගණනාවක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ගණනාවක ම (ශාස්ත‍්‍රිය හා ශාස්ත‍්‍රිය නොවන) අධ්‍යක්‍ෂ තනතුරු හිස් වී ඇතත් ඒවා පිරවීමට හෝ ඒ සඳහා ගමන් කිරීමට අවැසි පිවිසුම් මාර්ග පුරවිද්‍යා උපාධිධාරී වෘත්තිකයින් කෙරෙන් ඈත් වී තිබීමයි. නැතිනම් සම්පූර්ණයෙන් ම අහුරා දමා තිබීමයි. එහි හාස්‍යජනක කාරණය වන්නේ මෙම ශාස්ත‍්‍රය තනතුරු සඳහා ශාස්ත‍්‍රීය සුදුසුකම් සපුරා නොමැති වෙනත් අංශයන්ගේ නිළධාරීනට තමන්ගේ සේවා කාලය යන කොන්දේසිය ඔස්සේ ගමන් කිරීමට හැකි වී තිබීමයි. මෙහි ඛේදනීය කරුණ වනනේ එම තනතුරු සඳහා බොහෝ අංශයන්ගෙන් සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීනය එම නිලධාරීන් යටතේ සේවය සැපයීමට සිදු වී තිබීමයි.
මෙවැනි පසුබිමක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ ශාස්ත‍්‍රීය අංශයන්හි මුල්පුටු පුරාවිද්‍යා විෂය හා ඒ පිළිබඳ පර්යේෂණ පිළිබඳ විධිමත් පුහුණුවක් හා ශික්‍ෂණයක් ලැබූ විශේෂවේදි හා පශ්චාත් උපාධි ලබාගත් වෘත්තිකයිනට අහිමි වුවහොත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පමණක් නොව ජාතික උරුමයේ සුරක්‍ෂිතබව ආපසු හැරවීමේ තීරණාත්මක සාධයක් වනු ඇත. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගමන්මෙඟ් ඉදිරි සියවස පිළිබඳ තීරණාත්මක සාධකයක් ද වනු ඇත.
වර්තමාන සමාජ-ආර්ථික පසුබිම තුළ ලාංකේය මානවයාගේ අතීතය පිළිබඳ සාක්‍ෂි සපයන පුරාකෘතිනට හිමි වී ඇති ඛේදනීය ඉරණම පුරාවිද්‍යා උපාධිධාරීනගේ ඉරණම බවට ද පත් වුවහොත් ඉදිරි සියවස තුළ දී ලංකාවේ අතීතය පිළිබඳ, ඒ විශිෂ්ට සභ්‍යත්වය වෙත අප විසින් ලබාදෙනු ලබන දායකත්වය කුමක් ද යන්න සිතාබැලීම සංවේදී සබුද්ධික මිනිසුනගේ යුතුකමකි. මේ ඒ පිළිබඳ සංවාදයක් හා ක‍්‍රියාත්මක වැඩපිළිවෙලක් සඳහා දායක වීමට ඔබ සැමට සිදුකරනු ලබන ඉල්ලීමකි.
කේ. ටි. බූමහංසි
4 Responses to ලාංකේය පුරාවිද්‍යාවේ ඉදිරි සියවස හෙවත් පුරාවිද්‍යා විශේෂවේදි උපාධිධාරින්ගේ අනාගතය

No comments:

Post a Comment

Wikipedia

Search results

Search This Blog

About Me. I'm Dmtk senavirathne and an undergraduate at the Buddhist and pali university